වර්තමානයේදී බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයේ අධිපතිත්වය දරන්නේ ද්‍රව ඛණිජ ඉන්ධන ය. 2017 දී ශ්‍රී ලංකාවේ ආපනයන ආදායමෙන් 29.5% ඉන්ධන ආනයන වියදම් සදහා කැපකරන ලදී. එමනිසා ආනයනික බලශක්තීන් මත යැපීම නවතා පුනර්ජනනීය බලශක්තිය වෙත අවධානය යොමු කිරීම කඩිනම් අවශ්‍යතාවයක්ව පවතී.

රටක් ලෙස ආනයනික බලශක්තිය මත යැපුනහොත් රටට ගලා එන විදේශ විනිමය රටෙන් පිටතට ගලා යාම වැළැක්විය නොහැකිය. අප රටක් ලෙස පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කෙරෙහි උනන්දු වුවහොත් එම විදේශ වනිමය රටට ඉතිරි කර ගැනීමට අපට හැකිවේ.

නව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය මගින් ආර්ථික වාසි රැසක් හිමිවේ. එය රැකියා අවස්ථා ඇතිකිරීමට ද බලපායි. නව පුනර්ජනනීය බලශක්ති බලාගාරයක් ඉදිකරන විට ඉන්ජිනේරුවෙන්, කාර්මික ශිල්පීන්, අර්ධ හැකියාවන් සහිත සහ නිපුණතාවයෙන් යුත් කම්කරුවන්ට රැකියා හිමිවේ. තවදුරටත් සමාජ ආර්ථික තත්ත්වයන්, යටිතල පහසුකම් සෘජුව හෝ වක්‍රව දියුණුවට පත්වීම සිදුවේ. විදුලිබල සැපයුම මගින් ඒ ප්‍රදේශයන්වල ජීවන තත්ත්වය ද උසස් වේ.

වර්තමානය වන විට ලෝකයේ අනෙක් කොටස්වලට ද මඟ පෙන්වාදෙමින් කුඩා ජලවිදුලි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි. අප්‍රිකා මහද්වීපය ජල විදුලි ව්‍යාපාර වෙත ශ්‍රී ලාංකීය උපදේශනය, ව්‍යාපෘති සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීමෙහි ලා ඉතාමත් ක්‍රියාශීලිභාවයක් පෙන්වයි. කුඩා ජලවිදුලි ව්‍යාපෘති සඳහා අවශ්‍ය මානව සම්පත් නිපුණතාවයෙන් පරිපූර්ණ වෙමින් ලෝකයේ ඕනෑම රටක කුඩා ජලවිදුලි ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ ඉහළ ශාක්‍යතාවයක් අප රට සතුවේ.

ශ්‍රී ලංකාව සතු ඉහළ ගුණත්වයෙන් යුතු ජල ටර්බයින නිෂ්පාදන කර්මාන්තශාලාව මගින් බලශක්ති කාර්යක්ෂම පරිවර්තන මට්ටම් ඉහළ තත්ත්වයෙන් ඇති ටර්බයින නිෂ්පාදනය කෙරේ. මෙතෙක් කාලයකට එවැනි මට්ටමක ගුණාත්මකභාවයක් සනිටුහන් කළේ යුරෝපීය නිෂ්පාදකයින් පමණි. මෙරට නිෂ්පාදිත මෙම ටර්බයිනයන් භාවිත වන්නේ දේශීය වශයෙන් පමණක් නොව ඒවා විදේශීය රටවල භාවිතය සඳහා අපනයනය ද කරයි. තවදුරටත් සුළං ටර්බයින නිපදවීමට ද මුල් පියවරයන් සනිටුහන් කිරීමට හැකි වී ඇත. දැනටමත් ව්‍යාපාරයන් දෙකක් විසින් සුළං ටර්බයින සඳහා තටු නිපදවීම සිදුකරයි.

නව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය මගින් පරිසරය කෙරෙහි හිතකර බලපෑම් ඇති කරයි. කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු අවම කිරීම සෘජුව ම දේශගුණික විපර්යාස අවම කිරීමට දායක වේ.

call to action icon